ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Sunday

පැල් කවි (Pal Kavi)

උණ දඬු කපන තැන උණ දඬු              රිකිල්ලා
බට දඬු කපන තැන බට දඬු                 රිකිල්ලා 
වතුර බසින තැන හොල්මන්               කුරුල්ලා 
සී පද කියන්නට කවුරුත්                   වරෙල්ලා

මන්දාරමට උඩ කෙළිනා වැහි                 ලේනී 
ගොනුගෙ පිටේ දැම්මා වැනි බර             ගෝනී  
වෙල මැද අම්බලම කාටත්                  පරවේනී 
මට තනි නැත නුඹ නාඩන්                 උලලේනී

එගොඩ කන්ද දුම් බාලා දුම්                     බින්දු 
මෙගොඩ කන්ද දුම් බාලා පිනි                 බින්දු 
පල්ලේ කැලේ මොර ඉදිලා පැණි            බින්දු 
අපි අද කියමු එළිවෙන කල් කවි              සින්දු 

මාමයි මමයි එක යායේ හාන                  කොට 
කුළු මීමෙක් එලවා ගති                     අනින්නට 
වට පිට බැලිමි ගසකුත් නැත             නගින්නට 
පිට පට ගසා නැග්ගෙමි මාමගෙ               කරට 

කිරි වැදි වැදි කිරි වැදි වැදි                 මෝරන්නා
ගොඩ ඇඳි ඇඳි ගොඩ ඇඳි ඇඳි               පුදින්නා
අඟ නැමි නැමි අඟ නැමි නැමි           බරවෙන්නා 
පැලට වෙන්න දැන් කාලය ළං               වෙන්නා

වෙළේ පැලේ මම තනියම ඉන්න              කොට 
කොක්කු රැළක් ආවා එක                      විඩේකට 
එයින් එකෙක් ඇත්නම් ඇති                     කිරීමට 
හෙටත් වරෙව් කොකුනි රුව                   බැලීමට

ඇල් හේනේ අට්ටාලේ ඉන්න                     කොට
රන්වන් ගිරව් දෙන්නෙක් කටු අත්ත                පිට 
රන්වන් ගොමරයි උන්ගේ බෙල්ල                  වට 
රන්වන් ගිරවුනේ නොතෙමී වරෙව්               ගෙට 

ගල් යායේ මල් යායේ                     කුරක්කන්
අත දිග හැර මිට මොලවන              කුරක්කන්
කැකුළු පීදිලා රුව ඇති                    කුරක්කන්
ගැහැණු මරණ පලදාවකි                 කුරක්කන් 

(චතුරිකා ජයංගනී එවූ කවියකි.)