ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Thursday

තේරවිලි කවි / Theravili kavi

ටං ටං ගාන්නා තෝරා                         එවාපන්
ටිං ටිං ගාන්නා තෝරා                         එවාපන්
මඟ වැලි පිසින්නා තෝරා                    එවාපන්
දෙගංබඩ රජා තෝරා                          එවාපන්

ටං ටං ගාන්නා ගෝනා                   නොවේදෝ
ටිං ටිං ගාන්නා ලේනා                    නොවේදෝ
මඟ වැලි පිසින්නා කුකුළා              නොවේදෝ
දෙගම්බඩ රජා කිඹුලා                    නොවේදෝ

ගෙයින් ගත්ත ගෙඩියේ නම                දන්නවද
හිදෙන් ගත්ත ගෙඩියේ නම                 දන්නවද
රටෙන් ගත්ත ගෙඩියේ නම                දන්නවද
පිස්සු වැටෙන ගෙඩියේ නම                දන්නවද

ගෙයින් ගත්ත ගෙඩියේ නම             කලගෙඩිය
හිදෙන් ගත්ත ගෙඩියේ නම                වංගෙඩිය
රටෙන් ගත්ත ගෙඩියේ නම             හක්ගෙඩිය
පිස්සු වැටෙන ගෙඩියේ නම              රහුගෙඩිය

Wednesday

ජන කවි (jana kavi)

මොනරාගල ජනකවියක්

ගල මුදුනේ පැන නැඟුණේ පින්                   බෝදී
මහ පාරේ යන එන්නොත් වඳිති                    නැමී
ළඟට ගොසින් මල් පූජා කරති                     පෙනී
මොනරාගල හැමට ම වැඩියෙන්                 උතුමී

තෙතඟු කවියක්

සිංදු කියන අපි සැමදෙන කැලණිය වැඳලාත්          තෙතඟු
ධාතු සොඳට පෙති පිලිමත් දෝතින් වැඳලාත්         තෙතඟු
ස්වර්ණ හංස තිලකේ සිරිපාදය වැඳලාත්                තෙතඟු
එන මෙත්තේ බුදුන් දකිමු සිරි පා වැඳලාත්             තෙතඟු

කරත්ත කවි (karaththa / karatta kavi)

හපුතලේ යන්ඩ යනකොට කඳු            බොහොමා
ඒවා අදින්නට හරකුන් නැති                        හේමා
පිනට පවට අපි ඉපදුණෙ මෙහෙම                 තමා
පව් කළ ගොනෝ ඇදපන් යන්තමට              තමා

ජන කවියක් (jana kavi)

නැන්දේ මාමට බඩගිනි                  නැද්දෝ
රෑ ඉවු හැලියේ දංකුඩ                     නැද්දෝ
ඒවා කන්නට දීකිර                        නැද්දෝ
දීකිරි නැත්නම් කොහොමට            කද්දෝ

දිය බත් -  රාත්‍රියේ ඉතිරි වූ බත් දංකුඩ වලට පසුදා උදෑසන දීකිරි, ලුණු, ලූනු හා මිරිස් දමා සකස් කර ගනී. මෙය රසවත් මෙන්ම ගුණදායක ආහාරයකි.

කුරක්කන් කවි (Kurakkan kavi)

මෙදා හේනෙ පැහිලා ඇත             කුරක්කන්
රන්වන් කරල් බර වී ඇත              කුරක්කන්
ඌරන් නොකෑවොත් හේනේ        කුරක්කන්
බඩගින්නට අවුසදයකි                   කුරක්කන්

Tuesday

නැලවිලි කවි (Nalavili kavi)

අතට වළලු කොහෙන්          පුතේ
පයට ගිගිරි කොහෙන්           පුතේ
ඉණට හවඩි කොහෙන්         පුතේ
දැනට නිදා ගනින්                 පුතේ

පුතේ නුඹේ ලොකු              අම්මා
අතේ වළල්ලක්                  දැම්මා
මෙසේ මියුරු              තෙපලම්මා
පුතේ නාඬා                   නිදියම්මා

නුඹෙ අම්මත් කළුම             කළුයි
නුඹෙ අප්පත් කළුම             කළුයි
නුඹ නලවන මාත්                කළුයි
නුඹ විතරක් සුදුම                   සුදුයි

උපදේශාත්මක කවි (Upadesha kavi)

සිලුත් අරන් බොරු කිව්වොත් ලොවට       දගේ
මලුත් පුදා ගල් ගැසුවොත් මොකද            අගේ
බණත් අසා සිල් රැක්කොත් නොවෙද        අගේ
අලුත් පිටට ගෝනි කැදලුවා                     වගේ

ලියට ආභරණ හොඳ කල්                     කිරියාව
හොඳට සිටින එකවද යස                      සිරියාව
එමට වස්තු තිබුණට ගොඩ                    මඩයාව
කුමට ලියට නැති වුනි නම්                    කිරියාව

නැගිය නොහැකි නැතියෙන් ගතෙහි        වාරුව
ලැගියා තැනින් තැන අඟුවල                  අසීරුව
නොගියා මෙන් ගෙවී පව් කරපු                පූරුව
දුගියා හටය කවදත් හැම                      අමාරුව

කොතනද පද එතනට වෙයි දිය                 රාසී
කොතනද මීය එතනට වෙයි බිඟු               රාසී
කොතනද පාන එතනට පලඟැටි               රාසී
කොතනද කාසි එතනටමයි සැම               වාසී

බණ දන්නෝ ලොව සතහට බණ           කියතී
අණ දන්නො රජ සෙවණේ වැඩ             කරතී
වග දන්නෝ ලොව සතහට පිහිට             වෙතී
උඩ පැන්නොත් විගසට උල් පිට              ඉදිතී

වෙල් යායක ගොන් බානක් කකා             උනී
ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි   වැනී
වලිගය ඇති ගොනා මැස්සන් හට බැට       දුනී
දුප්පත්කමත් වලිගය නැති ගොනා            වැනී

Sunday

උපදේශ කවි / Upadesha Kavi


බස්සා නිදි මරයි කිසි හොරකමක්             බැරී
බල්ලා සෙමින් නොගියත් කිසි වැඩක්       බැරී
ඌරා මඩ හෑරු මුත් වැපුරුමක්                 බැරී
සිවලා සිංහ වෙස් ගත්තද නාද                   බැරී

ඇතා ගලට දළ දුනිනම් එගල                  බිඳේ
ගලතද නම් ඇතුගේ දළ මුලින්                බිඳේ
යාළු ගෙදර නිතරම නොයත් මිතු            සඳේ
ඇතු දළ බිදුණු ලෙස යහළුගේ සිතත්       බිඳේ

බීරෙකු හට ගොළුවෙකු පිම්බාය            හකක්
ඒක ඌට නෑසී කී වෙනින්                     එකක්
කාසි ගන්ට පිම්බයි යළි නාද                දෙකක්
ඌට කන්න ඉල්විය ඒ හකෙන්             ටිකක්

පීල්ලේ දියට කලයක්                       නැමුවත්
නොපිරෙයි කළේ සැට පැයකින්        බැලුවත්
පින්මද එකා බණ දහමින්                 වෙලුවත්
උගේ ගතිය ඌ නාරියි                      මැරුවත්

ජලේ ගැඹුර නොපෙනෙයි කැලත වැඩි වෙලා
ගලේ වපුල බිජුවට පැලවුණි ද                බලා
දෙවේලේ දකින කුකුළගේ කර               මලා
එවෙලේ පෙනෙයි සක සේම සුදු           වෙලා

එගොඩ ගිය ඔරුව මේ ගොඩ පැද           එනවා
දෙගොඩ තලා යන වතුරත් බැස             යනවා
යකඩ උනත් කලකදි දිරලා                    යනවා
සොකඩ දාදුවත් දිනුමට පෙර               ලෙනවා

වනක කුසුම් පිපුනත් රොන්               විහිදෙන්ට
ඒ දැක රොනින් කිම පල නිල            මැස්සන්ට
කනක කොපුවෙ ලූවත් කල්               පවතින්ට
සුනඛ නඟුට බැරි ඇද ඇරලා                    ගන්ට

Thursday

පැල් කවි / Pal Kavi

සිය පා සතෝ තෝ පාගා මරයි                 හෙට
පිට ගැට කුදෝ කීවේ කවුද                         තට
කුස පණ නැති එකෙක් අඬ ගා කීය             මට
දත සුදු මාමෙ මා අරගන් ගහ                   උඩට

කිරල හිඹුටු වැල් කුඹුරේ                    පැලේයා
කිරල ගඳට එති ඌරෝ                       රැලේයා
කතා නොකර ලැගපන් ගෙයි             පැලේයා
කතා කළොත් ඇදගෙන යයි             කැලේයා

ඉරට මුවාවෙන් ඉඳගෙන හිස               පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සළු            පළඳිනවා
මලට මුවාවෙන් ඉඳගෙන මල්           පළඳිනවා
අපට මුවාවෙන් ඉඳගෙන බුලත්          බෙදනවා

කුකුළා නැති ගෙදර එළිවෙනවා          නොදැනේ
හරකා නැති ගෙදර රෑ වෙනවා             නොදැනේ
බල්ලා නැති ගෙදර හොරු එනවා        නොදැනේ
අම්මා නැති ගෙදර පන යනවා             නොදැනේ

ඉර පායා ඉර මුදුනට එන්ට                          එපා
සඳ පායා සඳ මුදුනට එන්ට                          එපා
පෑදි දියට බොර දිය එක් වෙන්ට                  එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්ට                එපා

වැල්ලේ පිපෙන බිම් මල                   වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල                වාසනාවන්
පෝයදාට පුන් සඳ                            වාසනාවන්
ජාතිත් අපේ අම්මා                            වාසනාවන්

සල් සල් විසල් සල් ගෙඩි ඇත කැළේ            වට
ගල් ගල් විසල් ගල් ගෙඩි ඇත පොළොව       යට
මල් මල් විසල් මල් ගෙන යති මුණි              පුදට
පැල් පැල් විසල් පැල් රැකුමත් සැපයි             මට

මා බාලේ ඇතිකල තලගොයි                    පැටියා
මට තනිවට මිදුලේ කෙළ කෙළ                 සිටියා
උගේ මරුවා ඌ අරගෙන ගිය                   සැටියා
නිවන් පුරේ පලයන් තලගොයි                  පැටියා

නෙළුම් කවි / Nelum Kavi

මාගල් ගමු මෙතැන                 එළමු
පත්කොළ ගමු පෙළට              ඉඳිමු
බත් බෙදවමු හොදි               බෙදවමු
පටන් ගනිමු කන්ඩ                  බලමු

නතර කරමු ඉවර                     කරමු
වතුර ගනිමු අත්                    සෝදමු
පුවක් ගනිමු බුලත්                   ගනිමු
විටක් හපමු යන්ඩ                    බලමු

රන් දෑකැති ගෙන නිති    සැරසෙනවා
රත්රන් පටි ඉන වට         දිලිසෙනවා
රිවි දුටු පිණි බිඳු ලෙස පහ      වෙනවා
දුම්බර කෙතෙ අපි ගොයම්   කපනවා