ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Tuesday

පන් කර්මාන්තය ආශ්‍රිත ජන කවි












ගෙනත් එපන් අව්වේ ලා වේළ                     මින
නොබා පන් ඉරති අඟනෝ වෙනින්            වෙන
සුබා මුල්ල පුරමින් පන් මිටක්                    ගෙන
දෙපන් රටා වෙනවත් යන්තම්                ගොතන 

පුරා කොනින් ලද පැදුරක්                    පුරන්නේ 
ඉරා එපන් ගෙන සායන්                   පොවන්නේ
සරා මල් පෙතිත් වට කර                     වියන්නේ
රටා පියුන් පන්නන් පත්                      වියන්නේ 

ගාන තෙල් සඳුන් වරලස ඔමරි                   කොට 
මුහුණ පුරා තෙල් ගාගෙන යන                    කලට 
මන බලති මිනුවන් පන් තිබෙන                 කොට
නෑනො නුඹත් එනවද පන්                 නෙළන්නට 

ඉසට පියුම්ලා කොට්ටේ                        වියඤ්ඤා
පයට පියුම්ලා කොට්ටේ                        වියඤ්ඤා
මැදට ඇඳ රටා අස්පැන්                         වියඤ්ඤා
නෙතට සතර මුල් අරදග                       වියඤ්ඤා

ඉර හඳ පාන විල කොතනද                   තුන්හිරියා 
ඉර හඳ පාන විල මෙතනයි                    තුන්හිරියා
පන්නන් කරන අඟනෝ කාටත්                   සරියා 
මට පැදුරක පන් දෙනවද                       තුන්හිරියා  

අහුරු අල්ලමින් අග මුල කපා                      ගෙන 
දෙපේළියේ පන් මැඩලා කපා                      ගෙන
සිවු මුල්ලෙන් එක් මුල්ලක් පුරා                   ගෙන
පැදුරක් වියමි මේ මුළු තුන් ලොව                 වටින 

එක් වෙලා ගියෝ පන් උදුරන්ට                  ගියෝ 
වෙන් වෙලා ගියෝ තැන තැන විසිර           ගියෝ 
උනා වරල පිටිපස්සට දමා                          ගියෝ 
සිනා සිසී එන්නෝ පන් විලට                     ගියෝ