ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Monday

පැල් කවි (Pal Kavi)

ඇල් හේනේ අට්ටාලේ ඉන්න                              කොට
රන්වන් ගිරව් දෙන්නෙක් කටු අත්ත                         පිට
රන්වන් ගෝමරයි උන්ගේ බෙල්ල                           වට
රන්වන් ගිරවුනේ නොතෙමී වරෙව්                        ගෙට

වෙළේ පැලේ මම තනියම ඉන්න                         කොට
කොක්කු රැළක් ආවා එක                                විඩේකට
එයින් එකෙක් ඇත්නම් ඇති                               කිරීමට
හෙටත් වරෙව් කොකුනී රුව                             බැලීමට

කිරි වැදි වැදි කිරි වැදි වැදි                            මෝරන්නා
ගොඩ ඇදි ඇදි ගොඩ ඇදි ඇදි                          පූදින්නා
අග නැමි නැමි අග නැමි නැමි                      බරවෙන්නා
පැලට වෙන්න දැන් කාලය ළං                         වෙන්නා

මාමයි මමයි එක යායේ හාන                              කොට
කුළු මීමෙක් එලවා ගති                                 අනින්නට
වට පිට බැලිමි ගසකුත් නැත                         නගින්නට
පිට පට ගසා නැග්ගෙමි මාමගෙ                           කරට

එගොඩ කන්ද දුම් බාලා දුම්                                 බින්දූ
මෙගොඩ කන්ද පිනි බාලා පිනි                            බින්දූ
පල්ලේ කැලේ මොර ඉදිලා පැණි                        බින්දූ
අපි අද කියමු එලිවෙන කල් කවි                          සින්දූ

Sunday

පැල් කවි (Pal Kavi)

මලයයි මමයි කුඹුරට යන වෙලා              වේ
සතර වටින් එනවා වැහි වලා                    වේ
මුවා වෙන්ට ගසකුත් නැති වෙලා             වේ
පමා වෙලා වැහැපන් වැහි වලා                 වේ

ඉර වර වර ඉර වර වර                     වළල්ලා
සඳ වර වර සඳ වර වර                     වළල්ලා
පෑදි දියට බොර දිය එක්                 වෙයල්ලා
සිව් පද කියන්නට කවුරුත්             වරෙල්ලා

ගලේ වෙලේ වී වැපිරුවේ                මනාවයි
ඒක කන්න කක්කුට්ටන්                 දෙබානයි
බට්ටිච්චා හිස පීරන                          පනාවයි
චූටික්කට හිර දෙඩුවා                       හිනාවයි

එක් බටු දෙබටු තුන් බටු සාර පස්             බටු
නියං කලට මල් සැදෙනා තිත්                  බටු
එරටින් එකෙක් ඇවිදින් ඉල්ලුවේ            බටු
සිව් පද කියන්නට බැරිනම් අහන්             හිටු

අරළු බුළු නෙල්ලි මේවා කහට              රසයි
වෙරලු දෙහි දොඩම් මේවා ඇඹුල්          රසයි
උක්දඬු හකුරු මී පැණි හරිම පැණි         රසයි
මේ හැම රසට වැඩියෙන් සී පදය           රසයි


Friday

පතල් කවි (Pathal Kavi)

ඉන්නේ දුම්බරයි මහ කලු ගලක්                  යට
කන්නේ කරවලයි රට හාලේ                    බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ            පවට
යන්නේ කවදාද මව්පියො                   දකින්නට

දුම්බර කන්ද පාමුල මිනිරන්                   පතලේ
බැහැලා බඹ තිහක් කළු ගල සිදුරු            කලේ
බස්නාහිරට දෝනා දෙක ගමන්               කලේ
විස්තර කියමු දුම්බර මිනිරන්                 පතලේ

Thursday

පාරු කවි (Paaru/ Paru Kavi)

පාට එරන් ගඟ බඩ යන                            කොකුන්නේ
රෑට බතට තොප කොතනද                            ලගින්නේ
ගඟ බඩ අතු නැද්ද තොප නොලැග                   යන්නේ
වංසේ මොටද පණුවන් කන                      කොකුන්නේ

මලේ මලේ තැඹිලිය වැන්න පොල්                      මලේ
රැළේ රැළේ මූදෙන් දමන දිය                                රැළේ
බලේ බලේ රාසිහ දෙවියන්ගෙ                            බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා                          මලේ

බෝඹු ඉදලු දලු ලාදෝ                                නොලාදෝ
කෙකටිය මලේ වක යාදෝ                         නොයාදෝ
කැළණි ගඟේ ඔරු යාදෝ                           නොයාදෝ
කළුගෙ නගා මෙහි ඒදෝ                             නෝඒදෝ

සීරුව දියේ කණු ගොඩ සිටුවා                             මහත
වාරුව ඇතිව දියපිට තැනු ගෙයක්                         ඇත
මාරුව තැනින් තැන බඩු ගෙන ගමන්                     යත
පාරුව වැනි ගෙයක් මේ මුළු ලොවේ                    නැත

මොටද උපන්නේ මේ වියළුවේ                            රටේ
බැඳපු ගල් බැම්ම මහියංගනේ                              වටේ
ඔරුවට නැගීලා සුරතට ගත්තු                              රිටේ
පාරු පදින රුව බල වේරගං                             තොටේ

Saturday

කමත් කවි (kamath kavi)

ඉරු දෙවියෝ වැඩිය                             තැනේ
බොල් පිනි නොතිබෙයි                      එතැනේ
සඳ දෙවියෝ වැඩිය                              තැනේ
කරුවල නොතිබෙයි                           එතැනේ

මහ ගජතුන් බැන්ද                               තැනේ
කණු මුල් නොතිබෙයි                        එතැනේ
හැම දෙවියෝ වැඩිය                            තැනේ
උවදුරු නොතිබෙයි                            එතැනේ

ගණ දෙවියෝ වැඩිය                           තැනේ
රෝදුක් නොතිබෙයි                          එතැනේ
පසේ බුදුන් වැඩිය                                තැනේ
පස් පව් නොතිබෙයි                           එතැනේ

සමනල මහ වෙහෙර උසට
                               ගෙනත් පුරව මේ කමතට
මක්කම මහ වෙහෙර උසට
                               ගෙනත් පුරව මේ කමතට
කැළණිය මහ වෙහෙර උසට
                               ගෙනත් පුරව මේ කමතට
රන්වැලි මහ වෙහෙර උසට
                               ගෙනත් පුරව මේ කමතට