ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

පතල් කවි

පතල් කවි වල බොහෝ දුරට ඇත්තේ දුක, වේදනාව පමණි. එසේ වන්නේ පතල් කර්මාන්තය ඉතා දුෂ්කර අනතුරුදායක කාර්යයක් වූ බැවිනි.

ඉන්නේ දුම්බරයි මහ කලු ගලක්                  යට
කන්නේ කරවලයි රට හාලේ                     බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ            පවට
යන්නේ කවදාද මව්පියො                    දකින්නට

ඉන්නෙත් මීගොඩයි විත් පූරුවෙ                 පවට
දෙන්නෙත් රුපියලයි කෑමයි මදි               මෙමට
කන්නෙත් කරවලයි රට හාලේ                   බතට
සුන්බත් වෙමින් යන්නට වෙයි මට              ගමට

එන්ඩ කිව් දිනට පඩි ගන්නට                       ආවා
දෙන්ඩ තොපට පඩියක් මෙහෙ නැත            කීවා
වෙන්ඩ තිබෙන දේ නවතන්නට               බැරුවා
යන්ට කියා කන්සට පහරක්                      ගැසුවා

කරවනැල්ල ඉස්ටේසම ටිකට්             දෙන
රුවන්වැල්ල කන්තෝරුව ලියුම්         දෙන
කොටියා කුඹුර ස්ටෝරුව බඩු            කිරන
මහ බෙරගලේ පතලෙයි අපි වැඩ       කරන

කරවනැල්ල ඉස්ටේසම ටිකට්                 දෙන
රුවන්වැල්ල කන්තෝරුව ලියුම්             දෙන
කොටියා කුඹුර ඉස්ටෝරුව බඩු             කිරන
මා බෝගල පතලයි අපි වැඩ                   කරන

ජේත්තුවට කටු මිටි අරගෙන                  යනවා
මාත්තුවට බෙහෙතුත් අරගෙන               යනවා
වාත්තු කල ලෙසට මතුවට                පවතිනවා
දෙහිගහ වෙලේ දෝනා දකුණට              යනවා

දබරෙ කරකවා අත් දෙක                  වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත් මිටි                   කනවා
වතුර ඇදල අත්වල කරගැට                      එනවා
මිතුරේ පතල් වැඩ ගැන මගෙ බඩ             දනවා

දෝත මුදුන් තබමින් සුරිඳුන්                      වඳිමු
සෑම සියලු දෙවි උතුමන්ට පින්                  දෙමු
දන්න දන්න තාලෙන් සී පද                      කියමු
දෝස දුරැර අපි ගම රටවල                         යවමු

දුම්බර කන්ද පාමුල ගම රා                ගෙදර
මිනිරන් ගෙන යන්න කැපුවා මහ          පාර
වතුරෙන් සැප හොඳහි කුඹුකේ ළිං       වතුර
ගන රන් රුවයි මිනිරන් කඳ රා           ගෙදර

දුම්බර කන්ද පාමුල මිනිරන්                  පතලේ
බැහැලා බඹ තිහක් කළු ගල සිදුරු           කලේ
බස්නාහිරට දෝනා දෙක ගමන්               කලේ
විස්තර කියමු දුම්බර මිනිරන්                පතලේ

මිනිරන් පතල හරියට අපෙ ගෙදර            වගේ
බත් දෙන කෝකියා අපෙ අම්මා               වගේ
ලියන අප්පු හරියට ලොකු අයියා             වගේ
ලෝඩර හරියටම මහසෝනා                   වගේ

මහත්තයෝ මා කී දේ                         අහනවද
අතේ තිබෙන කරගැට පොඩි              බලනවද
පොතේ තිබෙන පඩි ගණනත්            කියනවද
ගමට යන්න පඩි තුණ්ඩුව                ලැබෙනවද

මදුරාගොඩ අපි ඇවිදින් විඳින                     දුකා
ගැටිය නැති මුට්ටි පොඩියේ උයන්             කකා
පණම් විස්ස ණය වෙනකොට හිතට            දුකා
මීට වැඩිය නරකද ගම හිඟා                       කකා

මන්මුලා වෙමින් මේ රට පසු    වෙනවා
අයියලා ඉඳන් තව මට දුක්        දෙනවා
අම්මලා පෙව්ව රන්කිරි සිහි      වෙනවා
බංගලා වෙලේ දෝනාවට         යනවා

මී වදේ ලෙසට ඉල්ලම                  සොයාගෙන
එම වදේ ලෙසට කටු පණ                 තියාගෙන
ආයුදේ ලෙසට ඉල්ලම් කටු                  රැගෙන
මේ සඳේ  පතල්වල ඉල්ලම්                    කපන

සබරගමුව එළියයි පෙරහැර                        දාට
කබරගොයින් එන්නේ වැහි පොද                දාට
දඹර මඩුව පාළුයි අපි නැති                          දාට
දබරේ ගල් වෙයන් උඩ එන                පෝළිමට

වළ ඇතුලේ සොල්දර                    වාසනාවන්
සොල්දර උඩට දබරේ                    වාසනාවන්
දබරේ උඩට දම්වැල                      වාසනාවන්
දුප්පත් අපට පතලේ                      වාසනාවන්

1 comment: