ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

ගොයම් කවි

සරණයි සරණයි බුද්ධං                 සරණයි
සරණයි සරණයි ධම්මං                 සරණයි
සරණයි සරණයි සංඝං                  සරණයි
සරණයි සරණයි මේ තුන්             සරණයි

ඇසී නාද හඞ බඹරුගෙ                    ලීලා
පැසී ගොයම් පත් කිරට                නැමීලා
ගැසී සුළං වාතෙට ඉති                  නැමීලා
පැසී ගොයම් කෙත සුරපුර                ලීලා

අලංකාර කෙත සැදුවේ                                           රජවර
සයංජාත රත් ඇල් ගෙන ගොඩ                                  කර
සුදං විජය පුරයක් වැනි සැම                                        වර
ගොයම් සැදුන සැටි අසනුය                                   විස්තර

නැගුණේ කොළ පෙත්තයි දියමතු                              පිට
යෙදුණේ  නිල් පාටින් එක                                    තරමට
වරුණේ බැරි නිම කරන්ට                                      ඈතට
බෙදුණේ කොළ ඉති දෙක තුන්                              දවසට

කුඹුරු පුබුදු මල් සුවඳයි හැම                                      විට
බඹරු ඇවිත් රොන් ගෙනයති                                උදයට
මදුරු කිඳුරු නද හැඩවෙති                                   වාතෙට
නැඹුරු වෙලා ඉති ගෝමර                                    තරමට

දෙයියන් අණ සැම තැන                               පවතින්නේ
කොයියන් අයගෙත් දියුණ                               සදන්නේ
මයියන් දැන කවි පද                                     පවසන්නේ
දෙයියන් වැඳ අවසර අර                                    ගන්නේ

වරම් වරම් මට මහ බඹු අතින්             වරම්
වරම් වරම් ඉසිවර දෙවි අතින්              වරම්
වරම් වරම් සක්දෙව් රජ අතින්             වරම්
වරම් වරම් ගොවිකම් පද කරන           වරම්

උඩින් සිටින ඉරු දෙවියෝ සෙවණ      කරා
බිමින් සිටින මිහිකත් දෙවි කළස           දරා
වටින් සිටින සැම දෙවියෝ අරක්         කරා
ඉතින් කපමු අපි එකතුව ගොයම්          පුරා

පේරු ඇතුව වී පැළකර               ගන්නේ
සීරු ඇතුව මුත්තෙට්ටු              උයන්නේ
පෝරු ගගා වල ගොඩැලි         මකන්නේ
ගෝරු කළල් මඩ ගොඩට        ඉසින්නේ

කරට බඳින රන් මිණි මුතු              මාලා
කණට ඔබින රන් තෝඩු              දමාලා
අතට ගිගිරි රන් වළලු                   දමාලා
ඇඟට ඔසරි සුදු සේල                   දමාලා

වරම් ගතිමි ඉර සඳ දෙවි අතින්                              වරම්
වරම් ගතිමි මිහිකත දෙවි අතින්                             වරම්
වරම් ගතිමි සක්වළ දෙවි අතින්                             වරම්
වරම් ගොයම් කැපුමට දෙවිඳුන්ගෙ                        වරම්

යකඩෙන් වානෙන් සිරි බරදීලා
                                   සොඳට සැදෙව් මගේ දෑකැත්තේ
ඇත්දත් වලිනුත් මිට ලියවාලා
                                     රිදියෙන් කරවපු වැඩක් වෙතේ
රන්වන් දෑකැති සුරතට අරගෙන
                                      රන්වන් ගොයමට ළඟා වෙතේ
අඩියෙන් අඩියට පේලි සැදීලා
                                        ගොයම් කපමු අපි දෑකැත්තේ

අගට රිදී සුරයෙන් වැඩ                                       කරලා
මුලට යකඩ සුරයෙන් වැඩ                                  කරලා
මැදට ගැබේ හැර ගිගිරි                                       දමාලා
මේ ලෙස දෑකැති වැඩ නිම                                 කරලා

අඟුරු කොටාලා කම්මලකට                                 එති
ඉඳගෙන පිට පිට ගිනි මොලවා                            දෙති
තලවති නළවති පණ පිහිටා                                 දෙති
ඉදෙ මෙන්න ගෙයි තිබුණා                               දෑකැති

එදා ගණන් ගෙයි තිබුණා                                  දෑකැති
බෙදා රැගෙන නුඹෙ නෑයෝ ගෙන                       දෙති
තලවති නළවති පණ පිහිටා                                 දෙති
ඉඳා මෙන්න ගෙයි තිබුණා                               දෑකැති

උඩින් සිටින ඉරු දෙවියෝ සෙවණ                කරා
බිමින් සිටින මිහිකත් දෙවි කළස                     දරා
වටින් සිටින සැම දෙවියෝ අරක්                   කරා
ඉතින් කපමු අපි එකතුව ගොයම්                    පුරා

පේරු ඇතුව වී පැළකර                         ගන්නේ
සීරු ඇතුව මුත්තෙට්ටු                        උයන්නේ
පෝරු ගගා වල ගොඩැලි                   මකන්නේ
ගෝරු කළල් මඩ ගොඩට                  ඉසින්නේ

කරට බඳින රන් මිණි මුතු                  මාලා
කණට ඔබින රන් තෝඩු                  දමාලා
අතට ගිගිරි රන් වළලු                      දමාලා
ඇඟට ඔසරි සුදු සේල                      දමාලා

උදේ පාන්දරින් නැගිට                           සිටිල්ලා
ගොයම් කපන්නට නෑනේ                    වරෙල්ලා
රන් දෑකැති ගෙන පෙළට                       සිටිල්ලා
රන් මන්දෑලේ කෙතට                           බසිල්ලා

අව්ව බොහොම සැරත්     වගෙයි
අපට ඇඹුල ගෙනත්         වගෙයි
බඩගිනි දැන් වැඩිත්         වගෙයි
ගොඩට යන්න හොඳත්    වගෙයි

ගොයම් කපා ඉවර            වුණා
ඉර දෙයියෝ පියිට            වුණා
ගොවි රාළට සෙතක්         වුණා
අපේ සිතත් සතුටු              වුණා

1 comment:

  1. Anonymous2:41 AM

    ගොඩක් ලස්සනයි

    ReplyDelete