ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Thursday

මේවර කෙළිය / Mewara Keliya

ඈත අතීතයේ සිට පැවත එන ක්‍රීඩාවකි. විශේෂයෙන් ම ගැහැනු ළමයින් කරන ක්‍රීඩාවකි. සහභාගි වන අය අත්වැල් අල්ලාගෙන රවුමට සිටිති. මෙහිදී වළල්ලක් බිම දමා රවුමේ සිටින එක් අයෙකු පාදයෙන් එය යටකරගෙන සිටියි. එක් කාන්තාවක් රවුම වටේ යමින් මේවරයා සොයයි. මේවරයා ලෙස හඳුන්වන්නේ වළල්ලක්, කරබුවක් වැනි රන් ආභරණයකි.

වටේ යන අය -
සාර සදිසි පෙති පේර නෙළන කළ වල ගියදෝ මගෙ මේවරයා

රවුමේ සිටින අය - 
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

කොස් වතු කන්දේ කොස් කඩනා දා වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

මුංවතු කන්දේ මුං නෙලනා දා වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

කහ වතු කන්දේ කහ කොටනා දා වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

කොටන පොළන කොට පොල් අඹරන කොට වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

කැලේ ගොසිල්ලා දර කඩනා කළ වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

නෑමට ගොස් එම නාන තැනේදී වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

අල වතු කන්නේ අල කොටනා දා වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

ලිඳට ගොසිල්ලා වතුර අදින කල වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

ගෙදර වටේ අතු ගාගෙන යන කල වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

මෙන්න මෙතනදී මේ සබයේදී වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

Wednesday

කුඹල් කවි (Kumbal Kavi)

කුඹල් කර්මාන්තය ලංකාවේ ඉපැරණි කර්මාන්තවලින් එකකි. කුඹල් කර්මාන්තය යනු මුට්ටි, හැළි, වළං, මල් බදුන් වැනි මැටි භාණ්ඩ සෑදීමේ කර්මාන්තයයි. සුදුසු මැටි වර්ග සොයාගෙන, ඒ මැටි හොඳින් පාගා, පදම් කර ගත යුතුය. පදම් කළ මැටි සකපෝරුව මත තබා අතින් කරකවමින් භාණ්ඩ සෑදිය යුතුය. එම මැටි භාණ්ඩ වේලා, ගින්දරින් පුළුස්සා ගත යුතුය.

මැටි ගොඩ අනා සකපෝරුවෙ             තියන්නේ
අතකින් කරකවා ගෙන ඉදි                  කරන්නේ
කැලයෙන් දර සොයාගෙන ගිනි            පිඹින්නේ
කවුරුද මහතුනේ මගෙ දුක                  දකින්නේ

පතල් කවි / Pathal Kavi

පතල් කවි වල බොහෝ දුරට ඇත්තේ දුක, වේදනාව පමණි. එසේ වන්නේ පතල් කර්මාන්තය ඉතා දුෂ්කර අනතුරුදායක කාර්යයක් වූ බැවිනි.

වළ ඇතුලේ සොල්දර                                 වාසනාවන්
සොල්දර උඩට දබරේ                                 වාසනාවන්
දබරේ උඩට දම්වැල                                   වාසනාවන්
දුප්පත් අපට පතලේ                                   වාසනාවන්

මිනිරන් පතල හරියට අපෙ ගෙදර                         වගේ
බත් දෙන කෝකි අප්පු අපෙ අම්ම                        වගේ
ලියන අප්පු පවුලේ ලොකු අයිය                           වගේ
ලෝඩරගොල්ල හරියට මහ සොහොන                 වගේ

ඉන්නෙත් මීගොඩයි විත් පූරුවෙ                            පවට
දෙන්නෙත් රුපියලයි කෑමයි මදි                          මෙමට
කන්නෙත් කරවලයි රට හාලේ                              බතට
සුන්බත් වෙමින් යන්නට වෙයි මට                         ගමට

මදුරාගොඩ අපි ඇවිදින් විඳින                                 දුකා
ගැටිය නැති මුට්ටි පොඩියේ උයන්                         කකා
පණම් විස්ස ණය වෙනකොට හිතට                        දුකා
මීට වැඩිය නරකද ගම හිඟා                                  කකා

එන්ඩ කිව් දිනට පඩි ගන්නට                                 ආවා
දෙන්ඩ තොපට පඩියක් මෙහෙ නැත                      කීවා
වෙන්ඩ තිබෙන දේ නවතන්නට                         බැරුවා
යන්ට කියා කන්සට පහරක්                                ගැසුවා

මහත්තයෝ මා කී දේ අහනව                                    ද
අතේ තියෙන කරගැට පොඩි බලනව                          ද
පොතේ තියෙන පඩි ගණනත් කියනව                        ද
ගමට යන්න පඩි තුණ්ඩුව ලැබෙනව                            ද

දබරෙ කරකවා අත් දෙක                             වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත් මිටි                              කනවා
වතුර ඇදල අත්වල කරගැට                                 එනවා
මිතුරේ පතල් වැඩ ගැන මගෙ බඩ                         දනවා

මංමුලා වෙලා මේ රට                                    පසුවෙනවා
අයියලා ඉඳන් මට තව දුක්                                    දෙනවා
අම්මලා අපට පෙව් කිරි සිහි                                  වෙනවා
බංගලා වළේ දෝනාවට                                         යනවා

දෝත මුදුන් තබමින් සුරිඳුන්                                    වඳිමු
සෑම සියලු දෙවි උතුමන්ට පින්                                 දෙමු
දන්න දන්න තාලෙන් සී පද                                    කියමු
දෝස දුරැර අපි ගම රටවල                                       යවමු

Sunday

A Glimpse Beneath Ratnapura, Gemstone Mining in Sri Lanka

පතල් කවි/ Pathal Kavi

දුම්බර කන්ද පාමුල මිනිරන්                               පතලේ
බැසලා බඹ තිහක් කළුගල සිදුරු                           කලේ
බස්නාහිරට දෝනා දෙක ගමන්                            කලේ
විස්තර කියමි දුම්බර මිනිරන්                              පතලේ

මී වදේ ලෙසට ඉල්ලම                               සොයාගෙන
එම වදේ ලෙසට කටු පණ                              තියාගෙන
ආයුදේ ලෙසට ඉල්ලම් කටු                               රැගෙන
මේ සඳේ  පතල්වල ඉල්ලම්                                 කපන

කරවනැල්ල ඉස්ටේසම ටිකට්                                දෙන
රුවන්වැල්ල කන්තෝරුව ලියුම්                            දෙන
කොටියා කුඹුර ඉස්ටෝරුව බඩු                            කිරන
මා බෝගල පතලයි අපි වැඩ                                 කරන

බමර කරකවා අත් දෙක                               වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත් මිටි                              කනවා
වතුර ඇදල අත්වල කරගැට                                 එනවා
මිතුර පතල් වැඩ ගැන මගෙ බඩ                           දනවා

මිනිරන් පතල හරියට අපෙ ගෙදර                          වගේ
බත් දෙන කෝකියා හරියට මවුන්                          වගේ
ලියන අප්පු පවුලට ලොකු අයිය                            වගේ
ලෝඩර ගොල්ල හරියට අමු සොහොන                  වගේ 

Saturday

පාරු කවි (Paaru/ Paru Kavi)

මාතර ගඟේ සිටිනා කිඹුලිගෙ                        පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර                       කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන                      සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ                       පැටියා

කන්දේ කකා ලන්දේ යන                       බෝසත්තු
අතමිණි බැඳ පය මිණි බැඳ ජය                       ගත්තු
රජ වාසලින් සොඳ කරැණා ලැබ                     ගත්තු
පින්ගත් ඔයට බැස්සයි ගෝමර                      ඇත්තු

සූරිය උදාවන තුරු පිනි                              බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ                        සෙලවිල්ල
මාරුව බල බලා සිත යට                        කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත්                   රැවටිල්ල

මොටද උපන්නේ මේ වේලිච්ච                      රටේ
බැඳපු ගල් බැම්ම මයියංගනේ                       වටේ
ඔරුවට නැගීලා සුරතට රැගෙන                     රිටේ
පාරු පදින හැටි බල වේර ගං                    තොටේ

සීරුවේ ගමන් ඇවිදින්                             පාරුවට
මාරුවේ හබල් අදිමින් විටින්                          විට
පූරුවේ කරපු අකුසල්                         ගෙවන්නට
පාරුවේ ඇවිත් දුක් විඳිනව                          දැනට

Wednesday

කරත්ත කවි (Karatta Kavi / karaththa kavi)

තණ්ඩලේ දෙන්න දෙපොලේ                  දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වද                      දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ                           දනවා
පව්කල ගොනෝ ඇදපන් හපුතල්                 යනවා

කළුගල් තළාලයි පාරට                             දමන්නේ
එම ගල් පෑගිලයි ගොන්කුර                 ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර                   අදින්නේ
කිරිගල්පොත්ත කන්දයි අපි                    නගින්නේ

ආරන්නේ පඳුර වටකර දළු                            ලන්ට
පීරන්නේ වරල තෙල් ගා ඔප                       වෙන්ට
මෝරන්නේ හඳේ කළුවර වැඩි                       වන්ට
තේරෙන්නේ නැද්ද මේ දුක දෙවි                   යන්ට

රෝද දෙකට තෙල් දාපිය                     කැරකෙන්ට
ගොනුගේ අඟට කොපු දාපිය                    බබළන්ට
ගොනුගේ කරට මිණි බැඳපිය නද                 දෙන්ට
කෝටුව අරන් එලවාසිය ගොනු                     යන්ට

එගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද              ගොනා
මොගොඩ ගොඩේ නා කණුවේ බැන්ද           ගොනා
දෙගොඩ තළා යන වතුරට පැන්න                 ගොනා
අපොයි මගේ රන්මුතු වල්ලියා                      ගොනා

ගොයම් කවි (Goyam Kavi)

වරම් වරම් මට මහ බඹු අතින්             වරම්
වරම් වරම් ඉසිවර දෙවි අතින්              වරම්
වරම් වරම් සක්දෙව් රජ අතින්             වරම්
වරම් වරම් ගොවිකම් පද කරන           වරම්

උඩින් සිටින ඉරු දෙවියෝ සෙවණ      කරා
බිමින් සිටින මිහිකත් දෙවි කළස           දරා
වටින් සිටින සැම දෙවියෝ අරක්         කරා
ඉතින් කපමු අපි එකතුව ගොයම්          පුරා

අසී නාද හඞ බඹරුගෙ                    ලීලා
පැසී ගොයම් පත් කිරට               නැමීලා
ගැහී සුළං වාතෙට ඉති                නැමීලා
පැසී ගොයම් කෙත සුරපුර               ලීලා

පේරු ඇතුව වී පැළකර               ගන්නේ
සීරු ඇතුව මුත්තෙට්ටු              උයන්නේ
පෝරු ගගා වල ගොඩැලි         මකන්නේ
ගෝරු කළල් මඩ ගොඩට        ඉසින්නේ

කරට බඳින රන් මිණි මුතු              මාලා
කණට ඔබින රන් තෝඩු              දමාලා
අතට ගිගිරි රන් වළලු                   දමාලා
ඇඟට ඔසරි සුදු සේල                   දමාලා

Tuesday

බඹර කවි / Bambara Kavi

The bees, bambara in Sinhala (Apis dorsata) is one of honeybee species found in Sri Lanka. They are bigger than honeybees, (Apis cerana) mee-massa in Sinhala.

Bambara bees make their hives in open spaces where other animals couldn't reach like big and tall trees, cliff of rocks. 

People use bambara pani (honey) for their food and in aryuvedic medicine since ancient time. It's very difficult to take bambara pani.





බැද්ද වටට සුදු මොර මල්                        පිපීලා 
සද්ද කර බඹරු ඒ වග                           වයාලා
ඉටිත් පැණිත් ලොව සැමට ම                  බෙදාලා
යන්නත් බඹරු දුක් මැසිවිලි                     කියාලා

අහසේ ගොසින් තරු යට සැග                 වුණාදෝ
පොළොවේ ගොසින් වැලි යට සැග           වුණාදෝ 
මූදේ ගොසින් රළ යට සැග                   වුණාදෝ
බඹරිදුනේ උඹ කොයි රට                      ගියාදෝ 

නටා නටා බඹර අතු අග යන                     කලට
නැමි නැමී කදින් බර විය අතු                     අගට
වදේ කඩාලා බැරිවුණි                         බාන්නට
මුලෙන් කද බිදුණි දෙන්නගෙ                කරුමයට

උල්ලා පොළ ගමට එන්නේ වස                 බඹරු
වෙනත් ගම්වලට එන්නේ හොද                  බඹරු 
මළකද බලන්නට එන්නේ රදළ                    වරු
අම්මගෙ හිතේ දුක් නළවන්නේ                  කවුරු

කන්දෙන් බසින්නේ ලිය ගෙදර බල               බලා
මන් දෙන් බදින්නේ අසු නොවන වල්            කුලා
දැන් දැන් ලියන්නේ සිත්තම දුරින්                  දුරා
යන්නෙමි මල්ලියේ සදගල වැටෙන                තුරා 

පැල් කවි / Pal Kavi

ඉරු දෙවියන් ඉර මුදුනෙන් වඩින                   තුරු
සඳ දෙවියන් සඳ මුදුනෙන් වඩින                    තුරු
ගණ දෙවියන් ගණ අඳුරෙන් වඩින                 තුරු
පැල් කවි කියමු අපි ඉරගල වැටෙන               තුරු

අහස තනිවේද විදුලිය                           කෙටුවාම
පොළොව බයවේද මම බිම                    බැලුවාම
මුහුද බොරවේද ගොඩ රළ                      ගැසුවාම
සිතේ දුක යා ද දවසක්                             ඇඩුවාම

දුම්බර කෙතට වැට බැදලා රැකුම්                 බැලුම්
මහවැලි ගඟේ දිය ගලලා කෙතට                  ගිලුම්
පෙම්බර ලියන් කර ඔසවා බලන                 බැලුම්
තුම්පත් රටාවකි දුම්බර කෙතේ                  නෙලුම්

පාට හොඳයි පැලවෙන ගොයමේ                නිල්ල
ඊට උඩින් ගැසුවා වැනි මඩ                      රොල්ල
යාල දෙගොඩ හඬලන මැඩියන්               ගොල්ල
දෙවියනි බුදුනි පාලුයි තංගලු                       මුල්ල

කල්බලා නොවෙද ගොවිතැන්                   කරන්නේ
මල්වරා නොවෙද කිරි වැද                     පැසෙන්නේ
පව් කළා නොවෙද වැසි                         නොදුන්නේ
ලොව්තුරා බුදුන් කවදද                             දකින්නේ