ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Sunday

කුරක්කන් කවි (Kurakkan kavi)

කුරක්කනට නිසි අඟනෝ                    බැහැපල්ලා
ඇවිත් අපෙන් කවි සීපද                          අහපල්ලා
තරක් නොවී අඬ දබරත්                     නොකරල්ලා
කුරක්කනට අත කඩිනම්                        කරපල්ලා

කපා කුරක්කන් කමතට ගෙන                       ආවා
පිට්ටු මල්ල දැකලා බඩගිනි                            ආවා
තට්ටි නෑනෙ දැන් ඉර මුදුනට                         ආවා
පිට්ටු කන්න වර දැන් බඩගිනි                         ආවා

කුරක්කනේ රුව කදිමයි                     බොලන්නේ
ගෑනු හැත්ත වට කරගෙන                      කපන්නේ
කබල් පොත්ත ලිප පිටමයි                   තියෙන්නේ
රොටී පෙත්ත කාලයි වැඩ                      කරන්නේ

උතුරු දිගින් ඌරා හේනට                           එනවා
නපුරුකමට තුඹසේ කුරහන්                        එනවා
මිතුරුකමට මම ඌරා                            එළවනවා
හතර වරම් දෙවි ඌරට හෙන                     දෙනවා

කපා කුරක්කන් කමතේ ගොඩ                කෙරුවා
කකා මල බුලත් කමතේ කෙළ                  ගැසුවා
උයා හැළි වළං අම්මා ගෙයි                        හැදුවා
හේනෙන් ගෙදර එනකොට අලියා             ගැසුවා

බඳිති කඩුලු බැරි අලියන්                       නවතන්ඩ
බඳිති පුද පඬුරු ලොව හැම                    දෙවියන්ඩ
යොදත් නැකැත් පදමට අසුරා                      ගන්ඩ
කපති කුරක්කන් දෙවියෝ රැක                  දෙන්ඩ

කුරක්කන් කපන ගෑනුන්ගේ                       අටියා
ඔහොම කුරක්කන් අපි දුටුවේ                   නැතියා
අද තිස්සෙම මේ අව්වේ පිට                       කකියා
නෑනෝ නුඹ පල්ල බඩගින්නේ                  බැරියා

රන්වන් එරන්වන් කුරහන් පැසෙන              රඟේ
මල්වන් රුවට කිරි කුරහන් පෙනෙන           රඟේ
සෙල්ලම් සිතින් ලොකු ලොකු ගෙඩි කරන  රඟේ
සෙල්ලම් නොකර පලයව් ගිරවුනේ             මගේ

කුරක්කන් කවි (Kurakkan kavi)

කුරක්කන් තුනයි වැපුරුවෙ                     අමාරුවේ
කපන්ටත් බැරුව අතපය                            රුදාවේ
අරින්ටත් බැරුව ලොවිගම                        සිනාවේ
කපමු නෑනෙ ඉපනැල්ලේ                         සුබාවේ

කුරක්කන් කපන වාරෙත් ආපි                       ළමා
නරක්කන් අව්ව මූණට තදයි                          ළමා
නළල් වටින් එන දාඩිය මුතු                         සේමා
මා දෙස නොබලන්ට නුඹෙ අත කැපෙයි        ළමා

අලසක් නැති ලෙසට කඩිනම්               කරපල්ලා
දෙසිතක් නැති ලෙසට අත සැර            කරපල්ලා
පැසෙතත් හිස අව්වට පසු                නොබසිල්ලා
නසිතත් ළඳේ පින් ඇති වැඩ                කරපල්ලා

කැපූ කුරක්කන් කමතේ                        වනාලා
පදමට දමා බිම්මල පිට                       කොටාලා
අඹරා ගලෙන් පදමට ගෙන                     හළාලා
අගනා බොජුන් සදමින් මුනි                     පුදාලා

පෝය සන්දියේ ඇහැළේ කැපු                  හේන
නිකින්නියේ මැදදී ගිනි තැබු                     හේන
වස් මාසේ වැපිරූ කුරහන්                         හේන
අපේ පිනටමයි පැසුනේ මේ                      හේන

ඇයි ලඳුනේ තනි හේනේ                   කපන්නේ
දෙමව්පිය දෙන්න නැද්දයි                  ලඳුන්නේ
අළු ගෝමර පෙති ගෝමර               දැවෙන්නේ
කපුරු ලා බුලත් කන්නට                 වරෙන්නේ

අපොයි අනේ මේ අහසේ                  කුරක්කන්
හීන් ඇඟිලි මිට මොලවන                 කුරක්කන්
ඌරු කොලු කාපි මගෙ කිරි              කුරක්කන්
මෙදා මහේ කාටත් නැත                   කුරක්කන්

රොටී තමයි අද රෑටත්                        උයන්නේ
මැටිය සේම ගුලි කර කර                   වඩන්නේ
පළහි සේම ලිප වට කර                  තියෙන්නේ
රොටී නිසාමයි දවසක                      නහින්නේ

මා කී දේ දෙවියන් බොරුවක්ම                නැතී
බිම එළි වුණොත් කණු මදු බොහොම ළඟ ඇතී
ඇහැට වෙහෙස ඇති තුන්යමට නිදි          නැතී
ගොබ කළු වෙමින් කුරහන් කිරිවැද     පැසෙතී

Balangoda Traditional Kurahan Hena, Sri Lanka

කුරක්කන් කවි (Kurakkan kavi)

දුරුතු මහේදී කැලයට                                 වැදිලා
මසක් පමණ කල් කැලවල්                     කොටලා
මැදින් දිනේදී වල් ගිනි                                තබලා
කුරහන් ඉසිමුව කළුවර                               බලලා

හේනේ පැලේ මා විඳිනා                       සුරුක්කන්
ඌරෝ ඇවිත් වටපිට කරති                      සක්මන්
වැටටත් උඩින් උන් අල්ලන                  මලක්කන්
අපොයි මගේ කිරි වදිනා                       කුරක්කන්

කටු ඇල්ලේ මගෙ හේනේ                    කුරක්කන්
වැට අහුරා ඌරන්ගෙන්                         වලක්කන්
කරගන්නට බැරි උන් මහ                      කුරක්කන්
ඌරෙනි නොකා පලයව් මගෙ               කුරක්කන්

එපෙති දෙපෙති මහ හෙනේ                   කුරක්කන්
මග යන්නෝ මට සරදම්                        කරන්නන්
එපෙති වෙන්ට කවුදැයි දළ                    නරක්කන්
කපා ගනිමු එක පෙත්තේ                      කුරක්කන්

අහස ගොරවලා වැහි එන                        අදික්කන්
ඇඟිලි ඉරිතලා රුව ඇති                         කුරක්කන්
එනව කීවාට නාවේ                               නරක්කන්
නෑනා නාවාට නාරිමි                             කුරක්කන්

කුරක්කන් ගෙදර හෙනේ                       කුරක්කන්
ගොල්ල ලපති ගමරාලගෙ                      කුරක්කන්
තුන්පෙති වෙලා කිරි වැදිලා                    කුරක්කන්
කපා දියන් මගෙ නෑනෝ                        කුරක්කන්

රෑ තිස්සේ මැසි මදුරුවො දුක්                        දෙනවා
සීතල සුළං වැදි වැදි කල් ගත                       වෙනවා
කුරහන් කන්ට එන සතුනුත්                      එළවනවා
එළිවන තුරා පැල්වල ගිනි                     මොලවනවා

අව්ව තමයි පිට දී ගෙන ඉන්න                           බැරී
වැස්ස තමයි කුරහන් වේළන්ට                          බැරී
තරහ තමයි පොඩ්ඩක් ඉවසන්න                        බැරී
පරහ තමයි බිඳි කුරහන් ගන්ට                           බැරී

වාරේ වැස්ස හොර නැතුවම                       වහින්නා
පාරේ තොටේ යන්ඩත් බෑ                     තෙමෙන්නා
ඇල පාරේ ගොයම් ටික නම්                   පැහෙන්නා
ඉහපු කුරක්කන් පැසිලා                              දිරන්නා

පිනිබර කුරක්කන් කිරි වදිනා                       වේලේ
ඉණි වැට කඩා එති ඌරෝ රෑ                        කාලේ
මිණි කිංකිණි හඬ පරදන උඹෙ                      තාලේ
වැනි වැනි කියා ඇදපන් සීපද                         තාලේ

අහසේ තරු සේම ගොවිතැන්                   කරන්නේ
පොළොවේ වැලි සේම බෝගත්                ඉසින්නේ
මගේ හේනමයි ඌරට                         පෙනෙන්නේ
විස්නු සමන් දෙවියෝ නඩු                       බලන්නේ