ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Monday

කමත් කවි / Kamath kavi

උඩ දරාඬ උඩ                             කමතේ
යඩි දරාඬ යටි                             කමතේ
කමත් හතක තිබුණ                      බැතේ
අද පුරවන් මේ                            කමතේ

උඩ අහසේ තරු                              ගානේ
බිම පොළොවේ වැලි                      ගානේ
මහ මුහුදේ රැළි                               ගානේ
බැත වැටියන් ඒ                              ගානේ

ගොනු යන්නේ කඳු                          උඩලූ
අපි යන්නේ                              පාබොඩලූ
ගලතන්නේ වෙළ                             වළලූ
පළඳින්නේ කිරි                                පබලූ

උදයට පායන හිරු                   දෙවියන්ටයි
සවසට පායන සඳ                    දෙවියන්ටයි
සතර සයුරෙ වෙසෙනා            දෙවියන්ටයි
සතර වරම් දෙවියෝ පින්                ගන්ටයි

Thursday

ඔළිඳ කවි / Olida Kavi

හතේ මුලට මුල වළ                                   කෙළපන්නේ
අතේ ඔළිඳ තොර නැතිව                              කෙළින්නේ
නෙතේ බැල්ම තොර නැතිව                            බලන්නේ
දෙන්නා දෙපිළ ඉඳ ඔළිඳ                              කෙලින්නේ

ඔළිඳ තිබෙන්නේ කොයි කොයි                           දේසේ
ඔළිඳ තිබෙන්නේ බංගලි                                      දේසේ
ගෙනත් සදන්නේ කොයි කොයි                           දේසේ
ගෙනත් සදන්නේ සිංහල                                      දේසේ

ඔළිඳ වැපුරුවද බල කොයි                                 නෑනෝ
එක් පෙති වෙච්චද බලකොයි                              නෑනෝ
දෙපෙති වෙච්චද බලකොයි                                නෑනෝ
තුන් පෙති වෙච්චද බලකොයි                             නෑනෝ

රෑන් ඇදිච්චද බලකොයි                                     නෑනෝ
ගසට පලිච්චද බලකොයි                                   නෑනෝ
මල්හට ගත්තද බලකොයි                                  නෑනෝ
පලුහට ගත්තද බලකොයි                                  නෑනෝ

කිරිසල් වෙච්චද බලකොයි                                නෑනෝ
ඔළිඳ පැහිච්චද බලකොයි                                  නෑනෝ
ඔළිඳ කඩන්නට අපි යමු                                    නෑනෝ
ඔළිඳ කඩන්නේ මොකෙන්ද                             නෑනෝ

ඔළිඳ කඩන්නට මොකද                           ගෙනෙන්නේ
රත්තරනෙන් රන් කෙක්ක                        ගෙනෙන්නේ
ඔළිඳ නෙළන්නට මොකද                         ගෙනෙන්නේ
රත්තරනෙන් රන් පෙට්ටි                          ගෙනෙන්නේ

කෙක්ක වෙලන්නට මොකද                      ගෙනෙන්නේ
රත්තරනෙන් රන් කෙන්ද                          ගෙනෙන්නේ
ඔළිඳ නෙළන්නට මොකද                          ගෙනෙන්නේ
රත්තරනේ රන් පෙට්ටි                               ගෙනෙන්නේ

කෙළිමු ඔළිඳ අපි දෙපිල                                     බෙදීලා
කියමු අමුතු රස බස්                                          අගවාලා
බලා මදෙස දැක බැරි                                        පිටුපාලා
පිරිමි සිටිති කිවු දෙපස                                        බෙදීලා

දොඩම් කපාලා ඇඹුල් තනලා
                                         නාන්න යන සැටි  බලන් කලූ
සේලේ ඇඳලා නෙරිය තියාලා
                                             මිදුලේ සක්මන් කරයි කලූ
දහසක් දීලා වළලු තනාලා
                                                 දෑතේ අතලා බලයි කලූ
දුනුකේ මලසේ උළුගෙයි ඇඳපිට
                                       ඔළිඳ කෙළින සැටි බලන් කලූ

Wednesday

ගොයම් කවි / Goyam kavi

රිදියෙන් තනලා රත්රන් ඔපලා කැරලි කෙටූවයි                දෑකැත්තේ
සුරතට රං වං රැළි නංවාලා කදිමට දිලිසෙයි                      දෑකැත්තේ
අඩියෙන් අඩියට තාල තියන්නට සබයෙන් අවසර ලැබ          ගත්තේ
සතර වරම් දෙවියන්ගේ බලයෙන් ගොයම් කපමු අපි         දෑකැත්තේ

පුන්සඳ වටතරු පෑවූ                            විලසට
පෙම්බර අඟනෝ බැසලා                    කුඹුරට
රන් කැති මාරුව දමමින්                      අහසට
නංගිලා දුරුවෙනු අහුරෙන්                   අහුරට

උදේ සිටන් අපි තුනටි නමාගෙන මන්දැයි දෑසට                         නොපෙනෙන්නේ
රජුගේ වැඩක් දෝ ගොවිගෙ වැඩක්දෝ කසපැන් ගෙඩියක්          නොලැබෙන්නේ
හක්ගෙඩි නැතිවද නළාව නැතිවද ඉර මුදුනේ වැඩ                                 නාරින්නේ
උඩහ වලව්වේ නිලමෙට කියලා කයිය නතර කර අපි                                යන්නේ

Tuesday

රබන් පද / Raban pada

රන්මල් තරිකිට තා
රිදිමල් තරිකිට තා
රන්මල් රිදි මල් පූජා කරන්ට
දොංකිට තරිකිට තරිකිට තා
දොංකිට තරිකිට තරිකිට තා

අත්ක රතු මල් - අත්තක සුදු මල්
වලුමල් බෙලි මල් - රෑන කිතුල් මල්
රත්ගම නැන්දට පිපිච්ච රතු මල්
රත්ගම නැන්දට පිපිච්ච රතු මල්
ඔන්න ඔන්න මල
මෙන්න මෙන්න මල
මොකද මොකද මල
සමන් පිච්ච මල

කැත්තක් අරගෙන වත්තට යනකොට 
පෙත්තෙක් ඉදගෙන කජු කනවා
ලංසි පැටව් මූදු යන්න නැවක් හදනවා
තක දොං නැවක් හදනවා

ඉර බසිනා කල ගසකට කුකුළන් පියාසරින් නගිතෙයි
දෙපතුල් කටුවන් කරමල් රතුවන් රිද ගුදන් තකතෙයි
එළිවෙන යාමෙට ඌ ඉද එතනින් හීන් හඩින් හඩතෙයි
කුකුළගෙ සවුදම ඔන්න ගසනවා කොත කොක් ගගිති ගතෙයි

කොක්කු දෙදහසක් ඇවිදිං පුත්තලමේ දොං
තවත් දෙදහසක් ඇවිදින් අතරමගදි දොං
කොකා කරපු නින්දාවට
කෙකී ගියයි වෙල්මාවට
කොක්කු පුතේ කොක් වළල්ල
උදළු මිටේ රිදී විල්ල
ටිකක් නටාපන් බලන්න








   

Monday

සිංහල ජන කවි

කම්මල් කවි

අඟුරු කොටලා කම්මලකට                      එති 
ඉඳගෙන පිල පිට ගිනි මොලවා                දෙති 
තලවති නළවති පණ පිහිටා                     දෙති 
ඉඳා මෙන්න ගෙයි තිබුණා                   දෑකැති  

Sunday

ගොයම් කවි / goyam kavi

වරම් ගතිමි ඉර සඳ දෙවි අතින්                              වරම්
වරම් ගතිමි මිහිකත දෙවි අතින්                             වරම්
වරම් ගතිමි සක්වළ දෙවි අතින්                             වරම්
වරම් ගොයම් කැපුමට දෙවිඳුන්ගෙ                        වරම්

යකඩෙන් වානෙන් සිරි බරදීලා
                                   සොඳට සැදෙව් මගේ දෑකැත්තේ
ඇත්දත් වලිනුත් මිට ලියවාලා
                                     රිදියෙන් කරවපු වැඩක් වෙතේ
රන්වන් දෑකැති සුරතට අරගෙන
                                      රන්වන් ගොයමට ළඟා වෙතේ
අඩියෙන් අඩියට පේලි සැදීලා
                                        ගොයම් කපමු අපි දෑකැත්තේ

අගට රිදී සුරයෙන් වැඩ                                       කරලා
මුලට යකඩ සුරයෙන් වැඩ                                  කරලා
මැදට ගැබේ හැර ගිගිරි                                       දමාලා
මේ ලෙස දෑකැති වැඩ නිම                                 කරලා

අඟුරු කොටාලා කම්මලකට                                 එති
ඉඳගෙන පිට පිට ගිනි මොලවා                            දෙති
තලවති නළවති පණ පිහිටා                                 දෙති
ඉදෙ මෙන්න ගෙයි තිබුණා                               දෑකැති

එදා ගණන් ගෙයි තිබුණා                                  දෑකැති
බෙදා රැගෙන නුඹෙ නෑයෝ ගෙන                       දෙති
තලවති නළවති පණ පිහිටා                                 දෙති
ඉඳා මෙන්න ගෙයි තිබුණා                               දෑකැති

සිංහල ජන කවි / Sinhala jana kavi

දුකකට පිහිට සුළු මිනිසෙකුගෙන්              විතර
ලොකුවට සිටින අයගෙන් නැත කිසිම          වර
තිබහට වතුර බොන්නට සුළු ලිඳ               විතර
කිසි විට පිහිට නැත ගැඹුරැති මහ               සයුර

කොල්ලන් ගසට ඇර ගස මුල        නොසිටිල්ලා
බල්ලන් බුරා එන විට දුව               නොපනිල්ලා
සෙල්ලන් කඩේ බඩු තරගෙට        නොගනිල්ලා
සෙල්ලන් කළොත් නිෂ්ඵල වෙයි       දැනගල්ලා

දුප්පත්කම කාට කාටත්                          ඇතිවීම
ඇත්තක්මය ඒ ගැන කුමටද                     දුක්වීම
එක්සත්කම සමග තිබුණොත්                ගුණදාම
දුප්පත්කම මැකෙයි රිවි දුටු පිණි                 සේම

ගොහොරු මඩේ පය තදකර යන්ට              එපා
පාරැ පදින සයුරේ පීනන්න                          එපා
මෝරු සමග අමු මස් වළඳන්ට                    එපා
මාරු වුණත් උගතුන් හා වාද                        එපා

කෙල්ලෝ කුඩාකල සෙල්ලම් බත්             පිසතී
කොල්ලෝ වැල්ලේ ඉඳ බොරු වලවල්     කපතී
ගුල්ලෝ ලී අරටු විදිනට තැත්                     දරතී
බල්ලෝ හඳේ සෙවණැල්ලට උඩු              බුරතී

බස්සා නිදිමරයි ඌ කරනා වැඩ                  නැතී
බළලා කපු කටියි ඌ වියනා රෙදි               නැතී
වඳුරා මහලු මුත් පොළොවේ ගමන්            නැතී
සිවලා සිංහ වෙස් ගති පසුව                  රැවටෙතී

දහසක් දෙන සිටින සබ                          මැද්දේ
අකුරු උගත් අයමයි                           පරසිද්දේ
අකුරු නොදත් අය ගොන්වැනි               බැද්දේ
උගත මනා දෙයමයි තම                         ලද්දේ

පොහොසත්දා ඇඳ ඇතිරිලි කොට්ට            ඇතී
දුප්පත් දාට ඉන්නට සෙවණකුත්                නැතී
ඇතිදා කන්ට නැති නෑයෝ ගණන්              ඇතී
මැරුණු දාට පණුවෝ මිස කාත්                 නැතී

පැණි රසත් තිත්ත වෙයි සිත්               කෝපයට
බලවතත් දුබල වෙයි ලෙඩ                  රෝගයට
ඇස් ඇතත් දෝස නොපෙනෙයි             රාගයට
හිතවතත් නොහොඳ වෙයි සිත්            උඩඟුවට

සූරිය උදාවන තුරු පිණි                         බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ                   සෙලවිල්ල
මාරුව බල බලා සිත යට                   කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත්             රැවටිල්ල

Thursday

Nelum Gayana - Sahan Ranwala

නෙළුම් කවි / Nelum Kavi

සතුට කියමි වදනක් සිතු සේම                         අසනවට
සතුට වඩා පිළිගනු එය සමාවෙලා                            මට
කෙතට බසින්නට පළමුව වැඳගෙන                    සුරිඳුට
පිහිට රැගෙන මිස නොබසිනු අද මේ                  කුඹුරුට

බැතින් නමදිමි මුනිදම් සඟ තුන්                       රත්නෙට
වරන් දෙවන ගතිමි ඇයද සැම දෙවියන්                    හට
මෙමන් අතේ ඇති හැම දොස දුරහැර                  ඉවතට
දෙවන් සුරිදුනේ අවසර බසිනට                          කුඹුරට

ගුවනේ ගතේ ඉර සඳ දෙවි අතට                     තහන්චිය
එමන් දෙරණ මිහිකත් අනුහසින්                     තහන්චිය
වටින් එසිවුවර දෙවි අනුහසට                         තහන්චිය
අතින් ගොයම් අල්ලන්නට කළෙමි                 තහන්චිය

ඔකඳලියෝ ඔය උණ පඳුරේ යට
                                    උණ මලදෝ ඔය කැරකැවෙනා
ඔකඳලියෝ ඔය බට පඳුරේ යට
                                      බට මලදෝ ඔය කැරකැවෙනා
ඔකඳලියෝ ඔය සපු පඳුරේ යට
                                      සපු මලදෝ ඔය කැරකැවෙනා
ඔකඳලියෝ ඔය මල් පඳුරේ යට
                                     තල මල දෝ ඔය කැරකැවෙනා

බාල ළමාවරු නෙළුමට කැන්දන
                                       ඔමරි කතාවෙන් පසු වෙන්නේ
නෙළන්ට සැරසී එන අඟනන්ගේ
                                                ඉස පීරා මල් ගවසන්නේ
නෙළන්ඩ බැරි අය කුමටද එන්නේ
                                         දෑත රිදෙන සේ පසු වෙන්නේ
ලැජ්ජාවට කවි සින්දු කියාගෙන
                                     නෙළුම එතෙක් කරලයි එන්නේ

Wednesday

උපදේශාත්මක ජන කවි

වතුර කළේ නොවසා නොතබනු                               ගෙදර
සිටි සෙවනේ අතු නොකඩනු කිසිම                               වර
අද කළ යුත්ත අද කරනුය කල්                             නොහැර
කෙන්දක් දැක මුසා නොකියනු කන්ද                           කර

වඳින්නට ගිය දෙවොල හිස මත වැටුණු                     ලෙස
කළ නොහොඳ නම් කළ ගුණයත් වෙනව                    විස
ඌරගෙ මාළු ඌරගෙ පිට කපන                               ලෙස
අවි ගත් අයට ඒ අවියම වෙයි                                    අයස

වලි කුකුළා වලි අතටයි                                       අඬන්නේ
ගං කුකුළා ගං අතටයි                                          අඬන්නේ
මී දෙන් ඇවිත් කණු පොළටයි                             අඬන්නේ
අම්මා කෙනෙක් දරු දුකටයි                                අඬන්නේ

ගසක් වැවෙනු ඇත බලයෙන් එගස                            මුලේ
වැලක් එතෙනු ඇත අදිමින් රසය                                අලේ
මසෙක් වැඩෙනු ඇත රසයෙන් මුහුදු                           ජලේ
අයෙක් රැකෙනු අැත හොඳනම් ඔහුගෙ                    මොළේ

කිසිවෙකු හටත් පල නැති දිවි පෙවෙත                         යෙදී
සියවස මෙලොව විසුවත් කිම ද පල                                විඳී
අන් අය එදන ගරු නොකරති නොවෙති                         ළැදී
කළු ගල් රැගෙන කිසිවෙක් මුදුවල                           නොබඳී

Tuesday

Saravita Aurudu Raban

රබන් පද / Raban Pada

හොඳහැටි අහපං අහගෙන හිටපං 
කොහෝ කොහෝ හඬ පැතිරෙනවා 
එරබදු ගස් වල එරබදු මල් ඇත 
සිංහල අවුරුදු ළඟ එනවා 

වත්තෙ නැන්දගෙ රෙද්දෙ තුත්තිරි
සිද්ද පත්තිනි දෙයියනේ
තිත්ත තිබ්බටු තෙලෙන් බැද්දත්
තිත්තමයි හැම දෙයියනේ

තෙලෙන් බැද්දත් කොබෙයියා
කිරෙන් බැද්දත් කොබෙයියා
තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත්
දෙකෙන් බැද්දත් කොබෙයියා

රුහුණු දනව්වෙහි කරොංචි නයිදෙට
ගෑනු හරක් බදිතෙයි තෙතෙයි තෙයි
ගෑනු හරක් බදිතෙයි
මදු කොළ අහුරක් මිටට කඩාගෙන
ඉදෝ  ඉදෝ කියතෙයි - තෙතෙයි තෙයි
ඉදෝ ඉදෝ කියතෙයි
බාන් පොටක් ගෙන කරට දමාගෙන
කදුරු ගහේ බදිතෙයි - තෙතෙයි තෙයි
කදුරු ගහේ බදිතෙයි
මෙච්චර මේ රට පිරිමි සිටිද්දිත්
ගෑනු හරක් බදිතෙයි - තෙතෙයි තෙයි
ගෑනු හරක් බදිතෙයි

රාන් කිරිල්ලියෙ රාන් කිරිල්ලියෙ
රාන් කුරුල්ලට එන්න කියාපිය
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
නූලක් මතුරල දෙන්න කියාපිය

අත්තක රතු මල් අත්තක සුදු මල්
වලු මල් බෙලි මල්
නැන්දගෙ වත්තේ රෑන කිතුල් මල්
තකදොං තිරිකිට තකදොං තරිකිට
කතදොං තකදොංතා

තුං තුඹ මල් තුනක් ගන්ඩ
තිත්ත කැකිරි දෙකක් ගන්ඩ
පස්කුළු බඩු මිටක් ගන්ඩ
රටකජු මද දෙකක් ගන්ඩ
වර මැණිකෝ අද නටන්ඩ
වර මැණිකෝ අද නටන්ඩ