ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Wednesday

කමත් කවි (kamath kavi)

බුදුන් වඩිති මේ                               කමතට
සඳුන් සුවඳ විසිරෙයි                              වට
යොදුන් උසට තිබෙනා                        බැත
බුදුන් අණින් එයි                             කමතට

දහම් බෙලෙයි මේ                           කමතට
සඳුන් සුවඳ විසිරෙයි                              වට
යොදුන් උසට තිබෙනා                        බැත
දහම් බෙලෙන් එයි                          කමතට

සඟුන් වඩිති මේ                              කමතට
සඳුන් සුවඳ විසිරෙයි                              වට
යොදුන් උසට තිබෙනා                        බැත
සඟුන් අණින් එයි                            කමතට

මේ කාගේ දෝ                                 කමතා
සැම දෙවියන්ගේ                              කමතා
සැම දෙවියෝ බිම                             බඳිතා
බිම් බැදි තැන කොළ                         බඳිතා

මේ කොතනින් ගෙනා                     ගොනා
දෙවුන්දරින් ගෙනා                          ගොනා
ඒ මොනවට ගෙනා                         ගොනා
කොළ මඬනට ගෙනා                      ගොනා

Sunday

පාරු කවි (Paaru/ Paru Kavi)

ජලේ ගැඹුර දන්නේ කූනිස්සා                               ය
මලේ සුවඳ දන්නේ මී මැස්සා                               ය
කැලේ පළල දන්නේ ඇත් වස්සා                          ය
මලේ ඔතන නොසිටින් ඌ පිස්සා                         ය

බෝඹු ඉදලු දළු ලන්නේ වැස්සකට                       යි
කෙකටිය මලේ වක යන්නේ වතුරකට                 යි
කැළණි ගඟේ ඔරු යන්නේ පැද්ද කොට               යි
කළුගෙ නගා මෙහි එන්නේ නෑ කමට                   යි

මං බාලේ ඇති කළ තලගොයි                       පැටියා
මට තනියට මිදුලේ පෙම් කෙළ                      සිටියා
උගෙ මරුවා ඇවිතින් ඌ අරන්                         ගියා
නිවන් පුරේ පලයන් තලගොයි                      පැටියා

සස්සඳ සසඳ දිය මතු පිට තියේ                          මල
සස්සඳ සසඳ දිය පල්ලේ තියේ                           අල
වැස්සට පිනි බබා මෝරන කැකුළු                     මල
මස්තකයින්ට මුතු කුඩයකි නෙළුම්                    මල

හඳ පානේ ඔරුව පැදගෙන ගඟ                    මැද්දේ
තොටුපොල නොදැන ගිය තොටියා විය        බැද්දේ
ඉහළට පදින ඔරු ඇයි පහළට                      පැද්දේ
බැස යන දියේ ඔරු නොපදිවු එක                  ඉද්දේ

ගමන් යන්නෙ නැකතින් පාරු                    පැදගෙන
සමන් දෙවියන්ට පුද පඬුරු                        බැඳගෙන
මෙවන් කලු ගඟේ ගල් මුල්                      බලාගෙන
අපිත් යමුද සැම දෙවියන්ට                        වැඳගෙන

කතරගමයි දේවාලය                             දෙවියන්ගේ
අතරමගයි අද අපි දිය නෑවේ                            ගඟේ
සතර දෙනයි ගෑවේ රන් සඳුන්                         ඇඟේ
වතුර හොඳයි කවදත් නිල්වලා                         ගඟේ

අවර ගිරේ ගිරි අවරේ ගිරවුන්                               ට
අදින සැරේ රොන් ගෙනියන බඹරුන්                   ට
ගති අවරේ ගිරි මුදුනේ රෑ වෙන්                            ට
එනු මිතුරේ අපි සැමදෙන පීනන්                           ට

හඳ පානේ මද පවනේ ගමන්                              යමූ
රෑ වුණ තැනේ අම්බලමක වාඩි                         වෙමූ
අට පණමක පැණි අරගෙන බෙදා                       කමූ
යහලු අපට ඔරු පැදපන් බුලත්                          දෙමූ

Monday

පැල් කවි (Pal Kavi)

ඇල් හේනේ අට්ටාලේ ඉන්න                              කොට
රන්වන් ගිරව් දෙන්නෙක් කටු අත්ත                         පිට
රන්වන් ගෝමරයි උන්ගේ බෙල්ල                           වට
රන්වන් ගිරවුනේ නොතෙමී වරෙව්                        ගෙට

වෙළේ පැලේ මම තනියම ඉන්න                         කොට
කොක්කු රැළක් ආවා එක                                විඩේකට
එයින් එකෙක් ඇත්නම් ඇති                               කිරීමට
හෙටත් වරෙව් කොකුනී රුව                             බැලීමට

කිරි වැදි වැදි කිරි වැදි වැදි                            මෝරන්නා
ගොඩ ඇදි ඇදි ගොඩ ඇදි ඇදි                          පූදින්නා
අග නැමි නැමි අග නැමි නැමි                      බරවෙන්නා
පැලට වෙන්න දැන් කාලය ළං                         වෙන්නා

මාමයි මමයි එක යායේ හාන                              කොට
කුළු මීමෙක් එලවා ගති                                 අනින්නට
වට පිට බැලිමි ගසකුත් නැත                         නගින්නට
පිට පට ගසා නැග්ගෙමි මාමගෙ                           කරට

එගොඩ කන්ද දුම් බාලා දුම්                                 බින්දූ
මෙගොඩ කන්ද පිනි බාලා පිනි                            බින්දූ
පල්ලේ කැලේ මොර ඉදිලා පැණි                        බින්දූ
අපි අද කියමු එලිවෙන කල් කවි                          සින්දූ

Sunday

පැල් කවි (Pal Kavi)

මලයයි මමයි කුඹුරට යන වෙලා              වේ
සතර වටින් එනවා වැහි වලා                    වේ
මුවා වෙන්ට ගසකුත් නැති වෙලා             වේ
පමා වෙලා වැහැපන් වැහි වලා                 වේ

ඉර වර වර ඉර වර වර                     වළල්ලා
සඳ වර වර සඳ වර වර                     වළල්ලා
පෑදි දියට බොර දිය එක්                 වෙයල්ලා
සිව් පද කියන්නට කවුරුත්             වරෙල්ලා

ගලේ වෙලේ වී වැපිරුවේ                මනාවයි
ඒක කන්න කක්කුට්ටන්                 දෙබානයි
බට්ටිච්චා හිස පීරන                          පනාවයි
චූටික්කට හිර දෙඩුවා                       හිනාවයි

එක් බටු දෙබටු තුන් බටු සාර පස්             බටු
නියං කලට මල් සැදෙනා තිත්                  බටු
එරටින් එකෙක් ඇවිදින් ඉල්ලුවේ            බටු
සිව් පද කියන්නට බැරිනම් අහන්             හිටු

අරළු බුළු නෙල්ලි මේවා කහට              රසයි
වෙරලු දෙහි දොඩම් මේවා ඇඹුල්          රසයි
උක්දඬු හකුරු මී පැණි හරිම පැණි         රසයි
මේ හැම රසට වැඩියෙන් සී පදය           රසයි


Friday

පතල් කවි (Pathal Kavi)

ඉන්නේ දුම්බරයි මහ කලු ගලක්                  යට
කන්නේ කරවලයි රට හාලේ                    බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ            පවට
යන්නේ කවදාද මව්පියො                   දකින්නට

දුම්බර කන්ද පාමුල මිනිරන්                   පතලේ
බැහැලා බඹ තිහක් කළු ගල සිදුරු            කලේ
බස්නාහිරට දෝනා දෙක ගමන්               කලේ
විස්තර කියමු දුම්බර මිනිරන්                 පතලේ