අහසේ තරු සේම ගොවිතැන් කරන්නේ
පොලවේ වැලි සේම බෝගත් ඉසින්නේ
මගේ හේනමයි ඌරට පෙනෙන්නේ
විෂ්ණු සමන් දෙවියෝ නඩු බලන්නේ
කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ
නළල් වටින් එන දාඩිය මුතු සැටියේ
අත පා මුදු පය පා මුදු වයිරොඩියේ
මට පිටුපා ගෙට යනවද සුරතලියේ
වෙල හොඳ මොකද යල මහ පාළු වේ නම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ නම්
මල හොඳ මොකද අතු අඟ පරව යේ නම්
ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේ නම්
මන්දාරමට උඩ ඉගිලෙන වැහි ලේනී
ගොනුගෙ පිටේ දැම්මා වැනි බර ගෝනී
වෙල මැද අම්බලම කාටත් පරවේනී
මට තනි නැත නුඹ නාඩන් උලලේනී
අනේ දෙවියනේ මට උණු වියෝයා
පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා
ගෙදර ගියත් මා නොතකන ලියෝයා
පැදුර දුන් කෙනෙක් මගෙ නෑ සියෝයා
No comments:
Post a Comment