ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Thursday

පැල් කවි / Pal Kavi

සිය පා සතෝ තෝ පාගා මරයි                 හෙට
පිට ගැට කුදෝ කීවේ කවුද                         තට
කුස පණ නැති එකෙක් අඬ ගා කීය             මට
දත සුදු මාමෙ මා අරගන් ගහ                   උඩට

කිරල හිඹුටු වැල් කුඹුරේ                    පැලේයා
කිරල ගඳට එති ඌරෝ                       රැලේයා
කතා නොකර ලැගපන් ගෙයි             පැලේයා
කතා කළොත් ඇදගෙන යයි             කැලේයා

ඉරට මුවාවෙන් ඉඳගෙන හිස               පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සළු            පළඳිනවා
මලට මුවාවෙන් ඉඳගෙන මල්           පළඳිනවා
අපට මුවාවෙන් ඉඳගෙන බුලත්          බෙදනවා

කුකුළා නැති ගෙදර එළිවෙනවා          නොදැනේ
හරකා නැති ගෙදර රෑ වෙනවා             නොදැනේ
බල්ලා නැති ගෙදර හොරු එනවා        නොදැනේ
අම්මා නැති ගෙදර පන යනවා             නොදැනේ

ඉර පායා ඉර මුදුනට එන්ට                          එපා
සඳ පායා සඳ මුදුනට එන්ට                          එපා
පෑදි දියට බොර දිය එක් වෙන්ට                  එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්ට                එපා

වැල්ලේ පිපෙන බිම් මල                   වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල                වාසනාවන්
පෝයදාට පුන් සඳ                            වාසනාවන්
ජාතිත් අපේ අම්මා                            වාසනාවන්

සල් සල් විසල් සල් ගෙඩි ඇත කැළේ            වට
ගල් ගල් විසල් ගල් ගෙඩි ඇත පොළොව       යට
මල් මල් විසල් මල් ගෙන යති මුණි              පුදට
පැල් පැල් විසල් පැල් රැකුමත් සැපයි             මට

මා බාලේ ඇතිකල තලගොයි                    පැටියා
මට තනිවට මිදුලේ කෙළ කෙළ                 සිටියා
උගේ මරුවා ඌ අරගෙන ගිය                   සැටියා
නිවන් පුරේ පලයන් තලගොයි                  පැටියා

No comments:

Post a Comment