ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Wednesday

පාරු කවි (Paaru kavi)

මලේ මලේ තැඹිලිය වැන්න පොල්               මලේ
රැලේ රැලේ මූදෙන් දමන දිය                        රැලේ
බලේ බලේ රාසිය දෙවියන්ගෙ                     බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා                  මලේ

ඔන්න මලේ ඔය නාමල නෙලා                 වරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා               වරෙන්
කැළණි ගඟේ ඔරු යනවා බලා                  වරෙන්
සාදුකාර දී ඔරුවක නැගී                            වරෙන්

මොටද උපන්නේ මේ වියළුවේ                       රටේ
බැඳපු බැම්ම මහියංගනේ                               වටේ
ඔරුවට නැඟීලා සුරතට ගත්තු                        රිටේ
පාරු පදින රුව බල වෙරගං                       තොටේ

ගහක් කපාගෙන ඔරුවක්                   කොටාගෙන
හබලක් හදාගෙන ගඟකට                       දමාගෙන
එගොඩත් බලා ගෙන මෙගොඩත්           බලාගෙන
කොලුවෙක් තෙමී ගෙන ඔරු පදි            මුලාවෙන 

සස්සඳ සස්සඳ දිය මතුපිට තියේ                     මල
සස්සඳ සස්සඳ දිය පල්ලේ තියේ                     අල
වැස්සට පිනි බබා මෝරන කැකුළු                  මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම්                 මල

හඳ පානේ ඔරුව පැදගෙන ගඟ                  මැද්දේ
තොටුපල නොදැන ගිය තොටියා විය          බැද්දේ
ඉහළට පදින ඔරු ඇයි පහලට                    පැද්දේ
බස බැස යන දියේ ඔරු නොපදිවු එක         ඉද්දේ


Thursday

ගොයම් කවි (Goyum kavi)

සරණයි සරණයි බුද්ධං                සරණයි
සරණයි සරණයි ධම්මං                සරණයි
සරණයි සරණයි සංඝං                 සරණයි
සරණයි සරණයි මේ තුන්             සරණයි

ඇසී නාද හඞ බඹරුගෙ                    ලීලා
පැසී ගොයම් පත් කිරට               නැමීලා
ගැසී සුළං වාතෙට ඉති                නැමීලා
පැසී ගොයම් කෙත සුරපුර              ලීලා

අලංකාර කෙත සැදුවේ                   රජවර
සයංජාත රත් ඇල් ගෙන ගොඩ          කර
සුදං විජය පුරයක් වැනි සැම                වර
ගොයං සැදුණු සැටි අසනුය            විස්තර

Wednesday

නැළැවිලි කවි (Nalavili kavi)

දොයි දොයි දොයි දොයිය        බබා
බයි බයි බයි බයිය                   බබා

නුඹෙ අම්මා කිරට                  ගියා
කිරි එරවා එන්න                    ගියා
කිරි මුට්ටිය ගඟේ                   ගියා
ගඟ දෙගොඩින් ගලා              ගියා

අතට වෙරළු ඇහිද             ගෙනේ
ඉණට පලා නෙළා             ගෙනේ
බරටම දර කඩා                 ගෙනේ
එයි අම්මා                   විගසකිනේ

බාලොලි ලොලි          බාලොලියේ
බාල පුංචි ළමයින්                   නේ
අම්මා කොයිදෝ               ඉතිනේ
නිම්මාවක් නැත               උන්නේ

නුඹට පුතේ කවුරු                 තැලූ
ගම්මැදිවල ළමයි                   තැලූ
ඇයි ළමුනේ පුතුට                 තැලූ
අපිට තැලූ අපිත්                    තැලූ

දැතේ වළලුත්                 නැතිදෝ
දෙපයේ ගිගිරිත්               නැතිදෝ
අම්මා දැන් එයි               හණිකෝ
නාඬන් සුරතල්              මැණිකෝ

පුතේ නුඹේ ලොකු             අම්මා
අතේ වළල්ලක්                 දැම්මා
නැතේ අගය එහි               නිම්මා
පුතේ නාඬ                   නිදියම්මා

අත්තක පිපි මලක්            ලෙසේ
මුද්දක බැඳි ගලක්            ලෙසේ
සන්තක මගෙ පුතුගේ        ඇසේ
නෙත් දෙක මගෙ පුතුගෙ  දෙසේ

නුඹෙ අප්පත් ඉතා              කළුයි
නුඹෙ අම්මත් ඉතා              කළුයි
නුඹ නළවන මාත්               කළුයි
නුඹ විතරක්                තලඑළලුයි

වැනේලු කළු                  වැනේලූ
ගම් මැද්දට                   පෙනේලූ
කළූට                          බඩගිනීලූ
කළු අලකොළ                 ලිපේලූ

අඹර කුරක්කන්              කළුවේ
ගල යට පිටි කොයි         කළුවේ
රොටී දෙකක් උය           කළුවේ
අම්මට දීපන්                   කළුවේ

තවත් එකක් උය            කළුවේ
අප්පට දීපන්                  කළුවේ
මටත් එකක් දිය            කළුවේ
උඹත් එකක් කා            කළුවේ

උඩින් අන්න අහස       පෙනෙයි
අවට මිදුලෙ අව්ව         පෙනෙයි
රෑට පුතේ වලා             පෙනෙයි
නාඬා නිදියන්න                පුතේ

අතට වළලු කොහෙන්        දුවේ
පයට ගිගිරි කොහෙන්         දුවේ
ඉණට හවඩි කොහෙන්       දුවේ
දැනට නිදාගනින්                දුවේ

ලොවේ ළමයි බෙර           ගසතී
කළ හැළි කට බෙර           ගසතී
දඞු බෙර ගසමින්              නටතී
මගේ පුතා එහෙම              නැතී

ලොවේ ළමයි වැලි       කෙළිතා
වැලි මැන මැන දබර        වෙතා
මගේ පුතා එහෙම            නැතා
නාඞා නැළවියන්               පුතා

කන්දක් ගිනි     ඇවිල්ලෙන්නේ
හැන්දක් කිරි              බීපන්නේ
නැන්දත් නුඹ          නළවන්නේ
නින්දක් නිදියා              පන්නේ

කළූ මෙතන පිලේ        වැනෙයි
කළු අල කොළ වෙලේ  වැනෙයි
කළූට බත් ලිපේ              ඉදෙයි
වෙල් අල කොළ දුමේ     තියෙයි

ලොවේ ළමයි නඩු            කියතී
ගුටි අනිමින් සිර                කරතී
කැට කැබැලිති දඩ          ගෙවතී
මගේ පුතා එහෙම              නැතී

නුඹෙ අම්මා කොතන         ගියා
මානෙල් මල් විලට             ගියා
එතන විලේ පොකුණේ         යා
කැකුළු මලක් පිපුණේ           යා

කපුටු කාක් කාක් කාක්
ගොරක ඩේන් ඩේන් ඩේන්
අමුතු බාන්  බාන් බාන්
කපුටගෙ කටේ රන් මස්සයි
කපුටිගෙ කටේ වැල මදුලයි

කොට කොතලෙන් දිය බීලා පෑළ දොරින් උසී
කොරවක්කා, කොවාක් කොවාක්
කුරුටු පුවක් පුවාක් පුවාක්
දොරකඩ වැලෙ බුලාත් බුලාත්
බට පඳුරේ පුවාක් පුවාක්
පහළ වෙලේ කොකෙක් කොකෙක්
මට කිරි හැඳි දෙකක් දෙකක්

පුංචි පුතා            නැළවෙන්නේ
ටිකිරි සිනා           පෙන්වන්නේ
කිරි දත් ටික           බබළන්නේ
පුංචි සිනා               මතුවන්නේ

අත්තම්මේ නුඹේ               පුතා
වත්තක පොල් කලටි        කකා
කව්දෑ බොල කියන           එකා
උඩහ ගෙදර අගිටි              පුතා

ඔන්න පුතේ ගුරු             එනවා
තුට්ටු දෙකේ රා           බොනවා
කොක්කන පයි ගෙන      එනවා
අඞන ළමයි               අල්ලනවා

කන්දේ හිමයේ උන් බක       මූණා
අත්ත දෙකොන ඉඳ හා හූ      ගානා
අප්පා බොල ඌ වස බක        මූණා
ඔක්කොම ඇරගෙන යයි බක මූණා

උඩ නියරින් වැටී                ගෙනේ
මිටි නියරින් වැටී                ගෙනේ
කලවිටි බොල් පොලා        ගෙනේ
එයි අම්මා                    විගසකිනේ

අතට වළලු ගෙනත්              දෙමී
පයට ගිගිරි                ගෙනත්දෙමී
ඉණට හවඩි ගෙනත්             දෙමී
නුඹට දෙවියො පිහිට            දෙමී

ලොවේ පුතුන් බොහොම      ඇතා
වඩා නැළෙව්වත්                 අඞතා
මගේ පුතා එහෙම                නැතා
නාඞා නැළවියන්                   පුතා

ඔන්න බබෝ හොරු             එනවා
අඞන ළමයි                    අල්ලනවා
කරේ තියාගෙන                   යනවා
උන් විකුණා රා                 බොනවා


Sunday

කුරක්කන් කවි (Kurakkan kavi)

කුරක්කනට නිසි අඟනෝ                    බැහැපල්ලා
ඇවිත් අපෙන් කවි සීපද                          අහපල්ලා
තරක් නොවී අඬ දබරත්                     නොකරල්ලා
කුරක්කනට අත කඩිනම්                        කරපල්ලා

කපා කුරක්කන් කමතට ගෙන                       ආවා
පිට්ටු මල්ල දැකලා බඩගිනි                            ආවා
තට්ටි නෑනෙ දැන් ඉර මුදුනට                         ආවා
පිට්ටු කන්න වර දැන් බඩගිනි                         ආවා

කුරක්කනේ රුව කදිමයි                     බොලන්නේ
ගෑනු හැත්ත වට කරගෙන                      කපන්නේ
කබල් පොත්ත ලිප පිටමයි                   තියෙන්නේ
රොටී පෙත්ත කාලයි වැඩ                      කරන්නේ

උතුරු දිගින් ඌරා හේනට                           එනවා
නපුරුකමට තුඹසේ කුරහන්                        එනවා
මිතුරුකමට මම ඌරා                            එළවනවා
හතර වරම් දෙවි ඌරට හෙන                     දෙනවා

කපා කුරක්කන් කමතේ ගොඩ                කෙරුවා
කකා මල බුලත් කමතේ කෙළ                  ගැසුවා
උයා හැළි වළං අම්මා ගෙයි                        හැදුවා
හේනෙන් ගෙදර එනකොට අලියා             ගැසුවා

බඳිති කඩුලු බැරි අලියන්                       නවතන්ඩ
බඳිති පුද පඬුරු ලොව හැම                    දෙවියන්ඩ
යොදත් නැකැත් පදමට අසුරා                      ගන්ඩ
කපති කුරක්කන් දෙවියෝ රැක                  දෙන්ඩ

කුරක්කන් කපන ගෑනුන්ගේ                       අටියා
ඔහොම කුරක්කන් අපි දුටුවේ                   නැතියා
අද තිස්සෙම මේ අව්වේ පිට                       කකියා
නෑනෝ නුඹ පල්ල බඩගින්නේ                  බැරියා

රන්වන් එරන්වන් කුරහන් පැසෙන              රඟේ
මල්වන් රුවට කිරි කුරහන් පෙනෙන           රඟේ
සෙල්ලම් සිතින් ලොකු ලොකු ගෙඩි කරන  රඟේ
සෙල්ලම් නොකර පලයව් ගිරවුනේ             මගේ

කුරක්කන් කවි (Kurakkan kavi)

කුරක්කන් තුනයි වැපුරුවෙ                     අමාරුවේ
කපන්ටත් බැරුව අතපය                            රුදාවේ
අරින්ටත් බැරුව ලොවිගම                        සිනාවේ
කපමු නෑනෙ ඉපනැල්ලේ                         සුබාවේ

කුරක්කන් කපන වාරෙත් ආපි                       ළමා
නරක්කන් අව්ව මූණට තදයි                          ළමා
නළල් වටින් එන දාඩිය මුතු                         සේමා
මා දෙස නොබලන්ට නුඹෙ අත කැපෙයි        ළමා

අලසක් නැති ලෙසට කඩිනම්               කරපල්ලා
දෙසිතක් නැති ලෙසට අත සැර            කරපල්ලා
පැසෙතත් හිස අව්වට පසු                නොබසිල්ලා
නසිතත් ළඳේ පින් ඇති වැඩ                කරපල්ලා

කැපූ කුරක්කන් කමතේ                        වනාලා
පදමට දමා බිම්මල පිට                       කොටාලා
අඹරා ගලෙන් පදමට ගෙන                     හළාලා
අගනා බොජුන් සදමින් මුනි                     පුදාලා

පෝය සන්දියේ ඇහැළේ කැපු                  හේන
නිකින්නියේ මැදදී ගිනි තැබු                     හේන
වස් මාසේ වැපිරූ කුරහන්                         හේන
අපේ පිනටමයි පැසුනේ මේ                      හේන

ඇයි ලඳුනේ තනි හේනේ                   කපන්නේ
දෙමව්පිය දෙන්න නැද්දයි                  ලඳුන්නේ
අළු ගෝමර පෙති ගෝමර               දැවෙන්නේ
කපුරු ලා බුලත් කන්නට                 වරෙන්නේ

අපොයි අනේ මේ අහසේ                  කුරක්කන්
හීන් ඇඟිලි මිට මොලවන                 කුරක්කන්
ඌරු කොලු කාපි මගෙ කිරි              කුරක්කන්
මෙදා මහේ කාටත් නැත                   කුරක්කන්

රොටී තමයි අද රෑටත්                        උයන්නේ
මැටිය සේම ගුලි කර කර                   වඩන්නේ
පළහි සේම ලිප වට කර                  තියෙන්නේ
රොටී නිසාමයි දවසක                      නහින්නේ

මා කී දේ දෙවියන් බොරුවක්ම                නැතී
බිම එළි වුණොත් කණු මදු බොහොම ළඟ ඇතී
ඇහැට වෙහෙස ඇති තුන්යමට නිදි          නැතී
ගොබ කළු වෙමින් කුරහන් කිරිවැද     පැසෙතී